13/08/2022
මේ ටිකේ ABS ගැන අහපු ප්‍රශ්න එක්ක ABS වැඩ කරන්නේ නැති උනාම මොකක්ද වෙන්නේ? කොහොමද දැනගන්නේ වගේ ගොඩ දෙනෙක් අහල තිබ්බා.
#කොමන් අහපු දේවල් ටිකට උත්තර මෙතන ඇති #
ABS නැති උනාම දැන ගන්නේ කොහොමද?
ABS ලයිට් එක එහෙම නැති නම් මේ පල්ලෙහා රූපේ තියෙන සිම්බල් එක ඩෑශ් බෝඩ් එකේ ඔන් වෙලා තියෙන්නෙ යතුරෙන් ඔන් කලාම.හැබැයි බයික් එක යන්න ගත්ත ගමන් ඒ ලයිට් එක ඕෆ් වෙන්න ඕන. දිගටම ලයිට් එක(INDICATOR ) එක ඕෆ් නොවී තියේ නම් ABS මොඩියුල් එක ස්ටෑන්ඩ්බයි මූඩ් එකට ගිහින් තියෙන්නේ.
ABS වැඩ කරන්නෙ නැති උනාම බ්‍රේක් වදින්නේ නැද්ද?
නෑ එහෙම අවුලක් වෙන්නේ නෑ.වෙන්නේ ABS කියන ටෙක්නොලොජි එක පාවිච්චි වෙන්නේ නැති එක. ABS නැති මොඩල් එකක වගේ සාමාන්‍යය ක්‍රමයට බ්‍රේක් වැඩ.
මොකද්ද මේ ABS කියන්නේ ?
Antilock කියන ඉංග්‍රීසි වචනේ තේරුම ලොක් නොවන කියන එක… එතකොට නමේ අර්ථයෙන්ම “Antilock Braking System” කියන්නේ රෝද ලොක් නොකරන බ්රේක් සිස්ටම් එක කියන එක… හරියටම කිව්වොත් ABS තියෙන වාහනේක බ්‍රේක් වැදිලා තියෙද්දී පවා රියදුරාට වාහනයේ පාලනය තියෙනවා…
ඒ කියන්නේ අපි හිතමු ABS නැති වාහනයක් ලිස්සන පෘෂ්ටයක වේගෙන් යනවා කියල… මේ වෙලාවේ රියදුරා බ්‍රේක් පෑගුවොත් රෝද සේරම බ්‍රේක් හින්දා ලොක් වෙනවා, එහෙම නැත්තන් කැරකෙන්නේ නැතුව යනවා… මේ වෙලාවේ යන්නේ ලිස්සන සුළු මතුපිටක නම් වාහනේ අනිවාර්යෙන්ම ඉස්සරහට ලිස්සන්න තියෙන ඉඩ වැඩියි… ඒ වගේම රියැදුරා මොකක් හරි බාධකයක් මග හරින්න සුක්කානම වමට දකුණට කැපුවට රෝද ලොක් වෙලා ලිස්සගෙන යන හින්ද ඒ කැපිල්ලෙන් වැඩක් වෙන්නේ නැහැ… වාහෙනේ ලිස්සගෙන යන පැත්තටම තමයි යන්නේ…
හැබැයි ABS තියෙන වාහනේක බ්‍රේක් ගහල තියෙද්දිත් ස්ටියරින් එකේ කොන්ට්‍රෝල් එක තියෙනවා… එහෙම නැත්තන් ලිස්සන පෘෂ්ටයක හදිසියේ බ්රේක් ගැහුවත් රියදුරාට සුක්කානම කරකවල තමන්ට ඕන පැත්තට වාහනේ ගෙනියන්න පුළුවන්…
ඒ වගේම ඉතාම වැදගත් දේ තමයි ABS තියෙන වාහනයක් ලිස්සන මතුපිටක බ්‍රේක් ගැහුවත් පාලනයකින් තොරව ලිස්සන්නේ නැහැ… ඒ හින්ද ABS නැති වාහනේකට සාපේක්ෂව ABS තියෙනව වාහනයක් ලිස්සන මතුපිටක නවතින්න යන දුර අඩුයි… මොකද ඉතින් ලිස්සනවා අඩුයි නේ…
සරලව කිව්වොත් ABS සිස්ටම් එකක් තියෙන වාහනේක හදිසි බ්රේක් පාරකදී වාහනයේ පාලනය වැඩියි… ඒ වගේම ABS නැති වාහනේකට සාපේක්ෂව ලිස්සන මතුපිටක නැවතුම් දුර අඩුයි… ඒ හින්ද ABS කියන දේ වාහනේක ආරක්ෂාවට නැතිවම බැරි දෙයක් බවට මේ වෙද්දී පත් වෙලා ඉවරයි… ඕනෑම හොඳ අලුත් වාහනේක අනිවාර්යෙන්ම මේ ABS අඩංගු කරන්න නිෂ්පාදකයෝ වගබලා ගන්නවා…
බැලුවම ABS කියන්නේ හිතාගන්න බැරි විදියේ ක්‍රියාවක් කරන සිස්ටම් එකක්… ඉතින් දැන් අපි බලමු මේ ABS සිස්ටම් එක කොහොමද මේ වික්‍රමය කරන්නේ කියල…
ABS ඇත්තටම වැඩ කරන්නේ කොහොමද
ABS වල මේ “නොලිස්සන ක්‍රියාන්විතය” පිටිපස්සේ තියෙන්නේ බොහොම සරල සිද්ධාන්තයක්… ඒ තමා ABS වලදී රෝදේ එක දිගට ලොක් කරගෙන ඉන්නේ නැහැ… විටින් විට ලොක් කරමින් රෝදෙට බ්‍රේක් ලබාදීම මේකෙදි සිද්ද වෙනවා…
මේ සිද්ධාන්තය හරියට තේරුම් ගන්න නම් ලිස්සන රෝදයක හා නොලිස්සා කරකැවෙන රෝදයක වෙනස අපි අවබෝධ කරගන්න ඕන… දැන් බලමු මොකද්ද ඒ කිව්වේ කියල…
රෝදයක් යම් මතුපිටක ලිස්සල යද්දී ඒ රෝදය හා මතුපිට අතරේ බැඳීම අඩුයි… එහෙම නැත්තන් ටයර් එක පොලව බදාගෙන සිටින ප්‍රමාණය අඩුයි…
දැන් හිතන්න රෝදයක් ලිස්සන මතුපිටක් උඩ කැරකෙමින් යනවා කියල… අපි මේ රෝදෙට දෙන බලය එන්න එන්න වැඩි කරමින් බ්‍රේක් කලොත් රෝදේ වේගය එන්න එන්න අඩු වෙනවා… හැබැයි එක වේලාවකදී අපි දෙන බ්රේක් එකේ පවර් එක ගොඩක් වැඩි උනොත් රෝදේ කැරකීම නැවතිලා ලිස්සන්න පටන් ගන්නවා… එතකොට අපි ඊළඟට කොච්චර බ්‍රේක් එකේ බලය වැඩි කලත් වැඩක් නැහැ… මොකද රෝදේ ලිස්සල යන හින්දා…
මෙන්න මේ වෙලාවේදී අපි බ්‍රේක් එකේ බලය ටිකක් අඩු කලොත් මොකද වෙන්නේ…? එතකොට ආයෙත් රෝදේ ලිහිල් වෙන හින්දා ලිස්සීම නැවතිලා කැරකෙන්න පටන් ගන්නවා… හැබැයි කලින් බ්‍රේක් කරපු හින්ද කලින්ට වඩා අඩු වේගෙකින් තමයි දැන් කැරකෙන්නේ…
හිතන්න ඔහොම කැරකෙන්න පටන් ගත්ත ගමන් අපි නැවතත් බ්‍රේක් එකේ බලය හෙමින් හෙමින් වැඩි කරනවා කියල… එතකොට රෝදය කලින් වගේම එන්න එන්න හෙමින් කැරකෙන්න පටන් ගන්නවා… මෙතනදීත් එක ප්‍රමාණයකට වඩා බ්‍රේක් එකේ බලය වැඩි වෙච්ච ගමන් කලින් වගේම කැරකෙන්නේ නැතුව ලිස්සන්න පටන් ගන්නවා… හැබැයි දැන් මේ ලිස්සිම සිද්ද වෙද්දී මුලින්ම තිබ්බට වඩා රෝදේ වේගය ගොඩක් අඩු වෙලා කියල ඔයාලට තේරෙන්න ඕන…
ඔන්න ඔහොම රෝදේ ලිස්සන ලිස්සන වෙලාවට ඔටෝමැටිකලි බ්‍රේක් පවර් එක අඩු කරලා ආයේ කැරකෙන්න ගත්තම වැඩි කරන විදියක් තිබ්බොත් මොකද වෙන්නේ… ඔබට තේරෙන්න ඕන එහෙම සිස්ටම් එකක් තියෙන වාහනයක් ලිස්සන්න තියෙන ඉඩ ගොඩක් අඩු බව… ඒ වගේම ඉතාම අඩු දුරකදී වාහනේ වේගය අඩු කරලා හොඳ පාලනයක් ඇතුව ගෙනියන්න පුළුවන් බව…
ඕන් ඔය කිව්ව කාරණේ ඔටෝමැටිකලි කරන ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකට තමයි ABS කියන්නේ… ABS සිස්ටෙම් එකේදී බ්‍රේක් ෆ්ලුයිඩ් ප්‍රෙෂර් එක රෝදේ ලිස්සනවද නැද්ද කියන කාරණේ බල බල අඩු වැඩි කරනවා… ඒ විදියට රෝදේ ලිස්සිමෙන් වලක්වා ගැනීම තමයි මේ ABS සිස්ටම් එකේ ප්‍රධාන කාර්යභාරය…