25/05/2026
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි‼️
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෝටර් වාහන මිලදී ගැනීම හෝ භාවිතය වෙනුවෙන් ලබාදෙන ණය පහසුකම් (Credit Facilities) සඳහා වන උපරිම ‘ණය-වටිනාකම් අනුපාතයන්’ (Maximum Loan-to-Value / LTV Ratios) සංශෝධනය කරමින් නව නියෝග මාලාවක් නිකුත් කර තිබේ.
මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නව නියෝග 2026 මැයි මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙනු ඇති අතර, ඒ අනුව, මෙයට පෙර ක්‍රියාත්මක වූ 2025 අංක 03 දරන මහ බැංකු නියෝගය මින් අවලංගු වනු ඇති.
මෙම නව සීමාවන් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම් (LFCs) සහ ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන (RFLEs) සඳහා අදාළ වනු ඇති එම නිවේදනයේ සඳහන්.
මීට මූල්‍ය ලීසිං (Finance Leases), කුලී මිලදී ගැනීමේ පහසුකම් (Hire Purchase) සහ වාහන ණය ඇතුළත්.
නව සංශෝධනයට අනුව වාහන ණය සහ ලීසිං ලබා දීමේදී සැලකිය යුතු උපරිම සීමාවන් (LTV) පහත පරිදි වනු ඇති;
1. ශ්‍රී ලංකාවේ වසරකට වඩා භාවිත කළ ලියාපදිංචි වාහන:
ලියාපදිංචි කර වසරකට වඩා ශ්‍රී ලංකාව තුළ භාවිත කර ඇති සියලුම වාහන සඳහා ලබාගත හැකි උපරිම ණය මුදල වාහනයේ වෙළඳපොළ වටිනාකමෙන් 60% කි.
2. මෙරට ලියාපදිංචි නොකළ (Unregistered) හෝ ලියාපදිංචි කර වසරකට අඩු වාහන:
වාණිජ වාහන (Commercial Vehicles): (C1, C, CE, D1, D, DE, G1, G, J කාණ්ඩ සහ සැහැල්ලු ට්‍රක් රථ සහ සිංගල් කැබ් රථ) සඳහා උපරිම ණය සීමාව 60% කි.
මෝටර් රථ, SUV, වෑන්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන: (B, B1, A1, A කාණ්ඩ) සඳහා උපරිම ණය සීමාව 40% කි.
වාහනවල වටිනාකම තීරණය කිරීම:
ණය පහසුකම් ලබා දීමේදී වාහනයේ නිවැරදි සහ සාධාරණ වෙළඳපොළ වටිනාකම (Market Value) සලකා බැලිය යුතු අතර, ඒ සඳහා පහත ක්‍රමවේද භාවිත කළ හැකියි.
තත්ත්වයෙන් නවතම (Brand New) වාහන: බලයලත් නියෝජිතයන් විසින් තහවුරු කරන වටිනාකම
ප්‍රතිසංස්කරණය කරන ලද (Reconditioned) වාහන: රේගු නිෂ්කාශන අවස්ථාවේ වටිනාකම හෝ අදාළ අලෙවිකරු ලබාදෙන ඉන්වොයිස් වටිනාකම.
ලියාපදිංචි කළ / භාවිත කළ වාහන: වෘත්තීය ඇගයීම්කරුවෙකු (Professional Valuer) විසින් ලබාදෙන තක්සේරු වටිනාකම.
මීට අමතරව, මෙම නියෝගය ක්‍රියාත්මක වන දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපි (Letters of Credit - LCs) වෙනුවෙන් ණය පහසුකම් සැපයීමේදී අදාළ කරගත යුතු විශේෂ සංක්‍රාන්ති කාලීන ප්‍රතිපාදන (Transitional Provisions) ද මහ බැංකුව විසින් මෙම නිවේදනය මඟින් ඉදිරිපත් කර තිබෙනවා.